Saturday, August 9, 2014

පිළිවෙත යනු කුමක්ද ?

      



      පිළිවෙත යනුවෙන් " යමක් අසා  හොදින් වටහාගෙන වටහාගත් දේ ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා කල යුතු ක්‍රියාමාර්ගයට අනුගතවීමට පිළිවෙත " කියා අපට හදුන්වා දෙන්න පුළුවන්කම තිබේ. පිළිවෙත් කියන විට විවිධ ක්‍රම මාදිලියේ පිළිවෙත් තිබීමට පුළුවන. නමුත් අපට අවශ්‍ය කරන්නේ සංසාර දුක් කෙරවල කිරීම උදෙසා යායුතු පිළිවෙතක් නම් අපි ඒ පිළිවෙත පිළිබද වඩාත් විග්‍රහ කර කරුණු කරණා අවබෝධ කරගෙන පිළිවෙත් අනුගමනය කිරීමට හැඩ ගැසිය යුතුයි. 


     පළමුවෙන්ම මනුෂ්‍ය ධර්ම නමැති පිළිවෙතක් තිබිය යුතුයි.  මනුෂ්‍යයෙක් වශයෙන් මෙලොව උපදින්නේ මව් කුසයෙන් නිර්වස්ත්‍රව උප්පත්තියකිනි. ඉන් අනතුරුව මව් වරු පියවරු විසින් වස්ත්‍ර අන්දා ලැජ්ජා භය හදුන්වදී  මනුෂ්‍ය ධර්මයන් කියදී මිනිසුන් වශයෙන් මිනිස් ලොවේ ගුණාත්මක භාවයන් පිළිබද වටහා දෙනු ලැබේ. එවිට මිනිසා ක්‍රමයෙන් මානුෂික හේතුකාරණා හදුනාගෙන යහමග යන්නන  අවශ්‍ය කරනු ලබන කරුණු කරන ආදිය තේරුම් බේරුම් කර ගැනීම සිදු වේ. මෙසේ ලෝකයේ මිනිස් ක්‍රියාකරකම් විවිධ පුදිගලයන් විසින් හදුන්වාදෙනු ලැබේ. 

         නමුත් එහිදී සසර කියන කාරණය දීර්ඝ වශයෙන් සංසරණය වෙමින් ගමන් කරන නිසාවෙන්ම ලෝකයේ කලාතුරකින් පහළ වන උත්තමයෙක් බුද්ධ යනුවෙන් ලෝකයට පහල වේ.  උන් වහන්සේගේ අවබෝධඥානයෙන් සියඑ කෙලෙසුන් නසා ලොව්‍තුරා බුද්ධත්වයට පත් වූ පසුව උන් වහන්සේ විසින් මාර්ගයක් දේශනා කරනු ලබනවා. මේ සසර ගමන කෙටි කිරිම උදෙසා , සංසාර සාගරයෙන් එතෙර වන්න පුළුවන් -  නිවන් දකින්න පුළුවන් මේ නිර්වාන සැපතට  ආළුම් කරන්න කැමැත්ත ඇති පිරිස ඒ සදහා වූවමනා කරන පිළිවෙත් පිලිබදව හොදින් අසා ධාරණය කරමින් අසාධාරණ දේ තුලින් වැළකි  ධාරණය කරගත් යහපත් ධර්මතාවයන් අනුගමනය කිරීමට පෙලබෙන්ට  අවශ්‍ය වෙනවා.

        පළමුවෙන්ම වන්දනාව ගරුත්වයෙන්ම පිළිවෙතින් ක්‍රියාවට නගන්න අවශ්‍ය කරන වැඳුම - කයින් වැඳුම - වචනයෙන් වැඳුම - සිතින් වන්දනාව ක්‍රමානුකූලව හදුනාගෙන තමන්ගේ යහ මග පිරිසිදු කර ගැනිමට පිළිවෙත් හදුනා ගැනිම අවශ්‍ය වේ. අපි පළමුවෙන්ම වැද නමස්කාර කර ඉන් අනතුරුයි , පිළිවෙතට බැස ගත යුතු වන්නේ.

          භ්‍යාග්‍යවතුන් වහන්සේ කියන විටම අපේ අත් අපට වඩා උඩට ඉස්සීම සිදු වේ. දොහොත් මුදුන් දී අපි පිළිවෙතට පෙළගැසිය යුතු වෙනවා. ඉන් අනතුරුව අපි වචනයෙන් " නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස " කියා ඊට පසුව අපි උන් වහන්සේ පිළිබද මනා සිහියෙන් සිහිපත් කරනු ලැබිය යුතුයි. බුදු ගුණ පිළිබදව - උන්වහන්සේ දේශනා කර ධහම් ගුණ පිළිබදව - උන්වහන්සේගේ සංඝරත්නයේ සඟ ගුණ පිලිබදව මෙහිදී මනා සිහියෙන් සිහිපත් කරනු ලැබිය යුතුමයි. 

         අපිත් ඒ ශ්‍රාවක ගණයට ඇතුලත් වීමට නම් අපි එම සිව්වනක් පිරිසේ කොටස් හදුනා ගැනිම අවශ්‍යයි. සිව්වනක් පිරිස ලෙස හදුන්වන්නේ භික්ෂු -  භික්ෂුණි - උපාසක - උපසිකා යන කොටස් හතර පිළිබදවයි. එයින් උපාසක කෙනෙකු වීමට නම් බුදු පියාණන් වහන්සේ පිළිබදව වැදනාමස්කාර කර  තිසරණ සහිත පන්සිල්වත් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය  වේ. තුණුරුවන් සරණයාම යනුවෙන් අදහස් කරනු ලබන්නේ " බුද්ධං සරණං ගච්ඡාමි - ධම්මං සරණං ගච්ඡාමි -  සංඝං සරණං ගච්ඡාමි " යන්නයි. 
    එනම් මම චතුරාර්ය්‍ය සත්‍ය  අවබෝධ කිරීම සදහා බුද්ධ රත්නයද සෝවාන් ආදී නව ලොව්තුරු දහමට පැමිණීම සදහා ධර්ම රත්නයද - අෂ්ඨාර්ය පුද්ලත්වයට ඇතුලත් වීම සදහා  සංඝ රත්නයද යන ත්‍රිවිධ රත්නය සරණ සමාදානයහි යෙදී සතුන් මැරීමෙන් වැලකීම, සොරකම් කිරීමෙන් වැලකීම, කාම මිත්‍යාචාරයෙන් වැලකීම , බොරුකීමෙන් වැලකීම, රහමෙර පානය කිරීමෙන් වැලකීම යන පංච සීල ශික්ෂා පද හොදින් ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කර ගැනීම අවශ්‍යයි.

         මෙම තිසරණය , පංච සීලය සමග ආරක්ෂා කරන පුද්ගලයා නිතර නිතර බුද්ධ - ධම්ම -  සංඝ යන තුණුරුවන් කෙරෙහි ගරුත්වයෙන් වාසය කරනවානම් බුද්ධං උපසතීතී - ධම්මං  උපසතීතී - සංඝ උපසතීතී  යන උපාසක යෙක් උපාසිකාවක් වන්න බුදු ගුණ - ධහම් ගුණ - සඟ ගුණ නිතර නිතර සිහිපත් කරමින් අනුගමනය කිරීම අවශ්‍ය වේ.  යම් වැරදීමකින් හෝ ශික්‍ෂාපදයක් හානියකට පත් වුව හොත් එය ඔහුගේ ජීවිතය මෙන් සලකා ඔහු එම වරද වරදක් ලෙස සලකා දැඩිව තේරුම් ගෙන එයින් නිදහස් වී ඒ වැරදි වලින් වලකින්න උත්සහ ගැනීම කර  යුතුමයි. 

       එම නිසා පිළිවෙතින් පෙළගැසීම වන්න නම් මෙම පංචශීල ශික්ෂා පද ආරක්ෂා කිරීමත් - විවෙකයක් තිබේනම් පොහොය දිනයේ නිසියාකාරව අටසිල් සමාදන් වී එම ශික්ෂා පද 60 පැයක කාලය තුල දවස පුරා ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. වර්තමානයේ වරු සිල් සමාදන් වීමට පුරුදු වී තිබෙනුයේ නොදන්නා අයගේ උපදෙස් මතය. ඒ නිසා ඒ නොදැනිම අදුරක් ලෙස සලකා දැනීමෙන් පෙළ ගැසුනොත් පමණක් මේ ජිවිතයේ අර්ථවත් උපාසක කෙනකු වශයෙන් හෝ උපාසිකාවක් වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. 

        භික්ෂු -  භික්ෂුණි කියනු ලබන තත්වය ඊට ඉහල තලයේ ලා සලකනු ලැබේ.   භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද සමුහයක් ආරක්ෂා කිරීමට තිබේ. උන්වහන්සේලා ඒ පිළිබද මනා දැනුමකින් කටයුතු කරන්න අවශ්‍යයි.  උපාසක උපාසිකාවන්ට වඩා බික්ෂු බික්ෂුනි යන දෙපිරිස බොහොම වැඩිමහල් සහෝදර සහෝදරියන් ගණයෙහිලා සලකනු ලැබේ.  එම නිසා මේ බුදු පිරිසේ සිටින වැඩිමහල් සහෝදරයා බල සහෝදරයා වශයෙන් මෙම සිව් වනක් පිරිස හදුන්වනු ලැබේ. 

එම නිසා මෙම පිළිවෙතින් පෙළ ගැසෙන විට බොහෝ කරුණු කරණා තේරුම් අරගෙන අකැප දෙයින් වැලකිලා කැප දේ පමණක් අනුගමනය කරමින් ආදර්ශවත් ජිවිත ගත කරමින් ධාර්මික දිවි පවැත්මකින් ජිවත් වී අධාර්මික කටුතුවලින් වැලකිලා දුක අවබෝධ කිරීමට උත්සහ කිරීම  අවශ්‍යයි. දුකට හේතුවන ආශාව දුරු කරන්න උත්සහ කරන්න  අවශ්‍යයි. නිර්වාන මාර්ගයම අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය දක්නා ප්‍රඥාව පහල වන තුරු මොහොතින් මොහොත සතර සම්‍යක්ප්‍රධාන  විර්යෙන් - සතර සතිපට්ඨානයෙන් - සතර සෘද්ධිපාද - පංචේ‍රයන්ගෙන් - පංචබලයන්ගෙන් - සප්තබෞද්ඣංයෙන්  ආර්ය අෂ්ඨාංගික  මාර්ගයන් සම්පුර්ණ කර ලොවූතුරු බුදුපියාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරේ නම් ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේ රසය , ගුණය, බලය, ජිවිතයට ඇතුලත් වන ආකාරයෙන් ප්‍රතිපත්තියෙන් පෙළ ගැසීමෙන් ප්‍රතිඵලය නමැති මාර්ග ඵල අවබෝධයෙන් ප්‍රතිවේධ නමැති සංඛ්‍යාත  මාර්ග  ඵල ප්‍රත්‍යක්ෂ ඥානයට පත්වීමෙන් නිර්වාණ සැපතින් සැනසීමට පුළුවන්කම ලැබේ.  එම නිසා සියල්ලෝම පිළිවෙතින් පෙළ ගැසීම නැමැති උත්තරීතර ප්‍රතිපත්ති සමුහය ආරක්ෂා කර   භික්ෂු -  භික්ෂුණි - උපාසක -උපාසිකා යන සිවූවනක් පිරිසම සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙතින් පෙළ ගැසීමෙන් නිවන් සැප නැමැති උදාරතර සැපතින් සියල්ලෝම සැනසෙත්වා ! කියා ප්‍රාර්ථනා කරමු.

මෙයට ,
ඔබේ යහපත පතන ,
ශාසන අභිවද්ධිකාමී ,
නවදගල අනගාරික ධම්මික යෝගාවචර හිමි.

No comments:

Post a Comment